සිරවී ඇති Flussi 2022 Nullaosta ගැන නීතිඥ යොහාන් සපරමාදුගෙන් දැන ගනිමු

මේ ගැටලුව පිළිබඳව නිවැරඳිම උපදෙස් ලබා ගැනීම සඳහා සුදුසුම පුද්ගලයා වන, මේ වන විට ඉතාලියේ ලියාපදිංචි පළමු සහ එකම ශ්‍රී ලාංකීක සම්බවයක් සහිත නීතිඥවරයා වන යොහාන් සපරමාදුගෙන් විමසීමට අපි තීරණය කලෙමු.

සිරවී ඇති Flussi 2022 Nullaosta ගැන නීතිඥ යොහාන් සපරමාදුගෙන් දැන ගනිමු

Decereto Flussi 2022 සඳහා අයැදුම් කර Nullaosta ලියකියවිල්ල ලැබූ ශ්‍රී ලාංකීකයන් සියලු දෙනාම මේ වන විට සුවිශාල ගැටලුවකට මුහුණ දී තිබෙන බව මෙකී ගැටළුවට මුහුණ දීමට සිදුවුණු සහ නොවුණු  සෑම දෙනාම දන්නා ප්‍රසිද්ධ කාරණාවකි. මෙහිදී ප්‍රධානම ගැටලුව ලෙස දැක්වෙන්නේ ඉතාලි රජයෙන් නිකුත් කරනු ලැබූ nullaosta ලියකියවිළි ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයෙන් තහවුරු නොවීමයි. ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලය මෙයට ඉඳිරිපත් කරන හේතුව ලෙස සමාජ මාධ්‍ය තුල සහ විවිධ වෙබ් අඩවි තුල හුවා දක්වන්නේ ඉතාලි තානාපති කාර්යාලයේ මෘදුකාංග යාවත්කාලීණ කිරීමේදී එම අදාල තොරතුරු පද්ධතියෙන් මැකී ගොස් ඇති බවයි. කෙසේ නමුත් මෙයින් අපහසුතාවයට පත්ව ඇත්තේ ඉතාලියට පැමිණීමට වීසා අපේක්ශාවෙන් සිටින  ශ්‍රී ලාංකීකයන් පිරිසක් සහ ඔවුන්ව කැඳවා ගැනීමට ඉතාලියේ සිට අනුග්‍රහය දැක්වූ පිරිසයි.

ඉතින් මේ ගැටලුව පිළිබඳව නිවැරඳිම උපදෙස් ලබා ගැනීම සඳහා සුදුසුම පුද්ගලයා වන, මේ වන විට ඉතාලියේ ලියාපදිංචි පළමු සහ එකම ශ්‍රී ලාංකීක සම්බවයක් සහිත නීතිඥවරයා වන යොහාන් සපරමාදුගෙන් විමසීමට අපි තීරණය කලෙමු.

1) ඉතාලි පැමිණීමට බලාපොරොත්තුවෙන් nullaosta ලියකියවිල්ල ඉතාලි තානාපති කාර්යාලයට බාරදීමට බලා සිටින නමුත් උද්ගත වී ඇති තත්වය හේතුකොට ගෙන තවමත් එය භාරදීමට නොහැකි වී සිටින පුද්ගලයින්ට හිමි අයිතිවාසිකම් මොනවාද?

ඉතාලි රජයෙන් නිකුත් කල nullaosta ලියකියවිල්ල හිමි ඕනෑම පුද්ගලයෙකුට එය අදාල අනෙකුත් ලියකියවිලි සමග ඉතාලි තානාපති කාර්යාලයට භාර දීමට අයිතියක් තිබේ. මෙවැනි අවස්ථාවක ඉතාලි තානාපති කාර්යාලයට එම nullaosta ලියකියවිළි භාර නොගෙන සිටිය නොහැකියි. ඔවුන් එසේ සිදුකරයි නම් ඒ සඳහා හේතු දැක්වූ ලියකියවිල්ලක් හෝ email මගින් හේතු දැක්වීමක් සිදුකල යුතුයි.

2) උද්ගත වී තිබෙන තත්වයත් සමග තමන්ගේ nullaosta ලියකියවිල්ල කල් ඉකුත් වූවොත් සිදු වන්නේ කුමක්ද? මෙවැනි nullaosta ලියකියවිලි සඳහා යම් සහන කාලයක් තිබේද?

nullaosta ලියකියවිල්ල කල් ඉකුත් වීමට යයි නම් සහ ඉතාලි තනාපති කාර්යාලය එය භාර ගැනීම ප්‍රතික්ශේප කරයි නම් ඔබ සිදු කල යුත්තේ වහාම සංක්‍රමණික නීතිය සම්බ්න්ධ පළපුරුදු නීතීඥයෙකු ලවා තානාපති කාර්යාලයට මේ උද්ගත වී තිබෙන තත්වය PEC email එකක් මගින් පැහැදිලි කිරීමයි. මෙසේ නීතිඥයෙකුට හැකියාව තිබෙනවා මෙකී ලියකියවිල්ල කල් ඉකුත් වීමට පෙර බාරගන්නා ලෙස තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටීමට. එම නිසා ඔබ නීතිඥයෙකු හමු විය යුත්තේ අනිවාර්යයෙන්ම ඔබගේ nullaosta ලියකියවිල්ල කල් ඉකුත් වීමට පෙරයි.

3) මතුව ඇති තත්වයත් සමග ලියකියවිල්ල ඉතාලි තානාපති කාර්යාලයෙන් nullaosta බාර නොගැනීම නිසා කෙනෙකු අසාදාරණයට ලක් වූවොත් ඉතාලි තානාපති කාර්යාලයට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග  මොනවාද? මෙම කටයුතු සිදු කර ගැනීමට  සම්බන්ධ කර ගත යුත්තේ ඉතාලි නීතිඥවරයෙක්ද? නැති නම් ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයට විරුද්දව කටයුතු කිරීමට ලංකාවේ නීතීඥයෙකු සම්බන්ධ කර ගැනීම ප්‍රමාණවත්ද?

ඉතාලි තානාපති කර්යාලය යටත් වන්නේ ඉතාලියේ නීතියට සහ ඉතාලියේ අධිකරණ බලයටයි. එමනිසා ඉතාලියේ නීතිඥ සභාවේ ලියාපදිංචි නීතිඥයෙකුට පමණයි  ඉතාලි තානාපති කාර්යාලයට විරුද්ධව නීතිමය කටයුතු ආරම්භ කිරීමට හැකියාව තිබෙන්නේ. ශ්‍රී ලංකාවේ ලියාපදිංචි නීතිඥයෙකුට ඉතාලි අධිකරණය ඉදිරිපිට ඉතාලි තානාපති කාර්යාලයට විරුද්දව කටයුතු කිරීමට හැකියාවක් නැහැ.

4) මෙම කටයුත්තේදි ශ්‍රී ලාංකීක ශ්‍රමිකයාට අනුග්‍රහය දක්වන ඉතාලියේ සිටින හාම්පුතුන්ට ඇති අයිතීන් මොනවාද?

ලියකියවිල්ල හිමි ශ්‍රී ලංකාවේ සිටින ශ්‍රමිකයන්ට හිමි සමාන බලතල ඉතාලියේ සිටින අනුග්‍රහයක්යින්ටත් හිමි වෙනවා. ඉතින් ඔහුටත් හැකිවනවා  ශ්‍රී ලංකාවේ මෙම ප්‍රශ්ණයට මුහුණ දී සිටින තම ශ්‍රමිකයාගේ අයිතීන් වෙනුවෙන් ඉතාලි තානාපති කාර්යාලයට එරෙහිව නීතිඥවරයෙකුගේ සේවය ලබාගැනීමට.

5) ශ්‍රී ලංකාවේ සිටින තම ශ්‍රමිකයින්ට උද්ගත වී ඇති තත්වය හමුවේ වීසා ලබා ගැනීම සඳහා ඉතාලියේ සිටින අනුග්‍රහයකයින්ට නැතහොත් හාම්පුතුන්ට මේ වෙනුවෙන් ගත හැකි පැහැදිළි ක්‍රියාමාර්ගය කුමක්ද?

ඔවුන්ට හැකියාව තිබෙනවා ප්‍රථමෙයෙන්ම ඉතාලියේ නීතිඥයෙකු මගින් ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යලයෙන් විමසා සිටින්නට උද්ගත වී ඇති තත්වය සම්බන්ධව සහ වීසා නිකුත් කිරීමට නොහැකි ගැටලුව සම්බන්ධව. ඉතින් මේ අවස්ථාවේදී ඉතාලි තානාපති කාර්යාලය මෙම විමසීම සම්බ්න්ධයෙන් නිසි ප්‍රතිචාර නොදක්වයි නම්, ඉඳිරි පියවර ලෙස ඉතාලි තානාපති කාර්යාලයට විරුද්ධව ගත හැකි ක්‍රියාමර්ග සම්බන්ධයෙන් ඇගයිමක් සිදු කර සුදුසු පියවර සම්බන්ධයෙන් කටයුතු කිරීමට හැකියාව තිබෙනවා.

6) මේ වන විට ඉතාලියේ ලියාපදිංචි ප්‍රථම සහ එකම ශ්‍රී ලාංකීක සම්බවයක් සහිත නීතිඥවරයා ලෙස  ඉහත කතා කල කාරණාව නිසා අපහසුතාවයට පත් වී සිටින සියලු දෙනා වෙනුවෙන් ඔබට ලබාදීමට හැකි අවවාදය කුමක්ද?

ඔබගේ ඉතාලි වීසා සම්බන්ධ මෙවැනි ගැටලුවකදී ඔබ ඉතාලියේ ලියාපදිංචි නීතිඥයෙකුගේ සේවය ලබා ගැනීම වහාම සිදු කල යුතුයි. ශ්‍රී ලංකාවේ සිටින වීසා ලබාදෙන පොරොන්දුව මත  මුදල් ලබාගන්නා ඒජන්සි කරුවන්ගෙන් ප්‍රවේසම් වන්න.  වීසා නිකුත් කිරීම හෝ නොවීම සිදුවන්නේ නීතිමය රාමුවක් තුල නීති රීති වලට අනුකුලව විනා ලබාදෙන මුදල් ප්‍රමාණය අනුව නොවන බව සිහි තබාගන්න.