කව්ද මේ විදේශික දරුවන්ට ඉතාලි භාශාව උගන්වන Dottoressa. Melissa Fernando?

Discover the inspiring story of Melissa Fernando, a Sri Lankan-Italian educator and biotechnology professional. Learn about her journey, career, and her efforts in teaching Italian to children from foreign backgrounds, helping them integrate into the Italian education system.

කව්ද මේ විදේශික දරුවන්ට ඉතාලි භාශාව උගන්වන Dottoressa. Melissa Fernando?
Dottoressa Melissa Fernando

ගියවර අපි ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික සම්භවය ඇති දෙවන පරපුරේ නීතීඥ්ඤ තුමෙක් සමඟ සම්මුඛ සාකච්චාවක් සිඳු කලා. මෙවර තවත් එවැනිම ඉතාලියේ ඉපදී, හැඳී වැඩී, පාසල් අධ්‍යාපණය සහ උසස් අධ්‍යාපණය ඉතාලියෙන්ම  ලබා, Biotechnology අංශයෙන් උපාධිය ලබාගෙන, ඒ අංශයේ රැකියාවක නිරතවන අතරම ශ්‍රී ලංකාවේ සිට පැමිණ ඉතාලි පාසල් අධ්‍යාපණයට අතරමගින් සම්බන්ධ වූ දරුවන්ට ඉතාලි භාශා පංති පවත් වන Melissa Teacher සමඟ කෙටි සාකාච්චාවක් පැවැත්වීමට  අවස්ථාව උදාකර ගත්තා. ප්‍රථමයෙන්ම බෙහෙවින්ම ස්තූතියි ඔබගේ කර්යබහුල දවසෙන් අපට කුඩා වෙලාවක් වෙන්කර දුන්නාට.

 

ඉතින් අද මේ ඔබට ඉඳිරිපත් කරන සාකච්චාවේදී ඇය අධ්‍යාපණය ලැබූ විඳිහ, ඇගේ වෘත්තීය ජීවිතය සහ ඇගේ ඉතාලි භාශා පංති ගැනත් සාකච්චා කරනවා. sri-lankans.com වෙබ් අඩවියේ අපගේ අරමුණ මෙවන් ඉතාලියේ දෙවන පරපුරේ සාර්ථක චරිත පිලිබඳව ඔබ වෙත තොරතුරු ගෙන ඒමෙන් ඉතාලියේ වෙසෙන ඔබගේ දරුවන්ටත් සම්ප්‍රදායික රැකියා රාමුවෙන් ඔබ්බට ගොස්, සමාජයේ පිළිගත් රැකියාවල නිරත වන්නට මඟ පෙන්වීම සහ උනන්දු කරවීමයි.  ඉතින් ඔබ දන්නා තවත් මෙවන් චරිත ගැන අපට දන්වන්න. මෙවැනි සාකච්චා තව තවත් ගෙන ඒම තුලින්  ශ්‍රී ලාංකීකයින් සාම්ප්‍රදායික රැකියා රාමුවෙන් ඔබ්බට ගොස් අනාගතයේදී සමාජයේ පිලිගත් රැකියා වල නිරතවනු දක්නට ලැබීම අපේ අරමුණයි.

 

ඉතින් ඇය සමග පිළිසඳර අපි මෙසේ ආරම්භ කරනු ලබනවා.

 

මේ දවස් වල ඔබ Dottoressa Melissa Fernando  කියලා සහ Italian With Melissa Teacher  කියලා සාමාජ මාධ්‍ය තුල හරිම ප්‍රසිද්ධයි. ඉතින් අපි එතනින්ම කතාව පටන් ගනිමු.

 

ඉතාලියේ Dottoressa කියලා කියන්නේ උපාධිදාරියෙකුට ගෞරවයක් දෙන්න යොදා ගන්න වචනයක්. වෛද්‍ය උපාධියක් මෙන්ම ඕනෑම ක්ශේත්‍රයක උපාධිදාරියෙකුට අපිට Dottoressa/Dottore කියලා කතා කරන්න පුලුවන්. ඉතාලි භාශාවෙන් වෛද්‍යවරයාට කියන්නේ Medico කියලා. නමුත් අපි වෛද්‍යවරයා සමග සාකච්චා කරන විට ඔහුට හෝ ඇයගේ උපාධියට ගෞරවයක් දෙන්න අපි කතා කරන්නෙ Dottoressa/Dottore කියලා. එලෙසින්ම අනිත් ක්ශේත්‍ර වල උපාධිදාරීන්ටත් Dottoressa/Dottore යනුවෙන් ඇමතීමට අපට පුලුවන්. ඉතින් මේක විදේශිකයින් ඔවුන්ගේ නොදැනුවත්කම නිසා නිතරම පටලවාගන්නා වචනයක්. තවත් ඒ වගේ ඉතාලියේ වෙනස් විඳිහට භාවිතා වන වචන තියෙනවා. Professore කියන්නෙත් ඒ වගේ වචනයක්. ඒ වචනේ ඇහුණු ගමන් ගොඩාක් අය වැරඳියට වටහාගන්නවා මේ විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙක් කියලා. නමුත් ඉතාලියේදි එහි අදහස ගුරුවරයා කියන එක.



බොහෝම ස්තූතියි ඔබගේ අනර්ඝ පැහැඳිලි කිරීමට.  ඉතින් ඔබගේ පවුලේ විස්තර වලින්ම පටන් ගනිමු. කොහෙද ඔබගේ ගම?

 

ඇත්තටම මගේ ගම නගරය වෙන්නේ මිලනෝ. මොකද මම ඉපදුනේ හැඳුනේ වැඩුනේ පාසල් අධ්‍යාපණය ලැබුවේ මිලනෝ නගරයේ. මගේ දෙමාපියන් 70 සහ 80 දශක වල ඉතාලියට සංක්‍රමණය වෙලා මෙහි පුරවැසිභාවය ලබාගත්ත අය. මම විවාහකයි. මට මගේ මහත්තයාව හම්බ් වුණා 2015 දී ඉතාලියේදීම. ඉතින් අවුරුඳු 5කට පස්සේ අපි දෙන්න විවාහ උණා. ඔහු මෘදුකාංග ඉන්ජිනේරුවෙක්. ඉතින් මගේ ඉතාලි භාශා පංති වැඩ කටයුතු වලට ඔහුගෙන් තාක්ශණික සහය වගේම සිංහල භාශාව පැත්තෙනුත් අවශ්‍ය සහය ලැබෙනවා.

 

ඔබගේ වෘත්තීය ජීවිතය ගැන විස්තර දැන ගන්න ගොඩාක් කැමති වෙයි අපේ පාඨකයින්.

 

වෘත්තීයෙන් වර්තමාණයේ ගුරුවරියක් ලෙස සේවය කිරීමට අමතරව, මම මේ වන විට කරන්නේ බෙහෙත් වල Quality Control අංශයේ රැකියාවක්. ඉතින් බෙහෙත් නිශ්පාදන ක්‍රියාවලියේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ඒ එක් එක් අවස්ථාවලදී ළැබෙන වාර්ථා පරික්ශා කර බැලීම තමයි මෙහිදී මගේ ප්‍රධානම කර්යභාරය.  මේක Computer එක ඉස්සරහ ඉඳගන කරන ජොබ් එකක්.

 

නමුත් මම වෘත්තීය ජීවිතය ආරම්භ කලේ 2018 දි Glaxosmithkline (GSK) ආයතනයෙන්. GSK ආයතනය ඔබ හොඳින් දන්නා ලෝකේ රටවල් ගණනාවකම තියෙන Multi National Company එකක්. ලංකාවෙත් තියෙනවා. ලංකාවේ පැනඩෝල් හදන්නේත් GSK එකේ තමයි. ඔබ හොඳින් දන්නා බෙහෙතක් වන  Voltaren එක හදන්නෙත් GSK එකේ. ඉතින් මම  මගේ වෘත්තීය ජීවිතය අරම්භ කලේ GSK Vaccine කියන Siena වල තියෙන ආයතනයෙන්. ඉතින් මගේ උපාධියෙන් පස්සේ මම රැකියා විශාල ප්‍රමාණයකට අන්තර්ජාලය හරහා අයැදුම් කලා. මට සම්මුඛ පරීක්ශන කිහිපයකටම මුහුණ දෙන්න අවස්ථාව ලැබුණා. වඩාත්ම ආකර්ශණීය වුනේ GSK ආයතනයෙන් ලැබුනු Offerta di Lavoro එක. ඉතින් පළමු සම්මුඛ සාකච්චාව අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුණා. දෙවැනි සම්මුඛ සාකච්චාවට මට Siena වලට යන්නට සිඳු වුණා.  එහිඳී මාව එම රැකියාවට තෝරාගණු ලැබුවා.

 

ආරම්භයේදී එහිඳි මගේ කාර්යභාරය උනේ  Vaccines හැදීමේදී විද්‍යාත්මක පරීක්ශාවන් සඳහා යොදා ගන්නා තරල මාධ්‍යන් සෑදීමයි. ඉතින් මා අධ්‍යාපණය ලඳ ක්ශේත්‍රයේ මගේ පළමු රැකියාව. මම හරිම කැමැත්තෙන් හිටියේ මගේ රැකියාවට යන්න. ඉතින් මම Facebook එකේ තියෙන University groups හරහා නවාතැන් ගන්න ස්ථානයක් Siena වලින් හොයා ගත්තා.  ඒ නවාතැනේ හිටියෙත් මම වගේම රැකියාව අලුතෙන් පටන් ගත්ත සහ තවමත් විශ්වවිද්‍යාල අධ්‍යාපණය ලබමින් සිටි  ඉතාමත් මිත්‍රශීලී ඉතාලි තරුණියන් කිහිපදෙනෙක්.

 

ඉතින් මම මේ කාලේ හැම Weekend එකේම මම මිලානෝ ඇවිල්ලා යනවා. මේ හේතුව හින්දාම මම මිලනො වලින් ජොබ් එකක් සොයමින් සිටියා. පසුව මට හොඳ අවස්ථාවක් ලැබුණා රසායණ විද්‍යා අංශයෙන් නමුත් තරමක් වෙනස් සමාගමක.ඒ තමයි MaxMayer ආයතනය. ඒක  තීන්ත නිශ්පාදනය කරන ආයතනයක්. ඉතින් මට තිබුනේ ඔවුන්ගේ රසායනාගාරයේ සේවය කරන්න. එක් එක් තීන්ත වර්ග වල තත්වය සහ එම තීන්ත වෙනස් කාලගුණික තත්ව යටතේ පවතින්නේ කෙසේද වගේ දේවල් එහිඳී අපි පරීක්ශාවට ලක් කලා. ඉතින් විශේෂයෙන්ම වාහන වලට ආලේප කර්න තීන්ත වර්ග තවත් කොහොමද වැඩි දියුණු කරන්නේ කියලා පරීක්ශණ පවත්වන එකට තමයි මම මූලික වශයෙන් සම්බන්ධ වුණේ.

 

මේ රැකියාව ගොඩාක්ම රසායණික විද්‍යා අංශයේ රැකියාවක් වෙච්ච නිසා සහ මගේ ආශාව වැඩියෙන්ම Biotechnology අංශයට සහ Teaching  වලට තිබුණු නිසා මම තවත් රැකියා අවස්ථා සොයමින් තමයි හිටියේ. ඔය කාලේ තමයි Covid-19 Pandamic එක ආවේ.  ඉතින් ඔය කාලේ  Healthcare / Biology අංශයේ රැකියා ගොඩාක් වැඩි වුණා. හැබැයි අවධානමත් ගොඩාක් වැඩියි. පසුව අවධානම අරගෙන මම අලුත් රැකියාවකට සම්බන්ධ වුණා. එහිඳි මට Covid-19 Thamponi ගැනීමේ සිට ඒවා පරීක්ශා කරන අවස්ථාව දක්වාම විවිද අංශ වල සේවය කරන්නට සිඳු වුණා.  ගොඩාක්ම වැඩ කලේ pharmacies වල. මම Linate සහ Malpensa ගුවන් තොටුපොලවල් වල පවා මෙහිදී Thamponi ගැනිමේ කාර්යය වෙනුවෙන් සේවය කලා. සමහර දවස් වලට  සාම්පල් ගත්තේ Campers ඇතුලේ ඉඳන්.

 

ඉතින් ඊට පස්සේ තමයි දැන් කරන රැකියාව මට ලැබුණේ. ඉතින් ඒ රැකියාවෙන් මට  විශාල  විවේක කාලයක් ලැබිලා තියෙන නිසා මම විශ්ව විද්‍යාලයට ඇතුල් වීමටත් පෙර කාලයේ සිටම කරගෙන ආ අමතර පංති පැවැත්වීම නැවතත් වෘත්තීය මට්ටමෙන්ම නීත්‍යානුකූලව කුඩා ආයතනයක් ලෙසින්ම ආරම්භ කලා. ඉතිං මම ගුරුවරියක් ලෙස කටයුතු කරන්න හරිම ආසයි.  නිතරම කුඩා දරුවන් සමඟ කටයුතු කරද්දි අපි හැමදාම තරුණ වෙනවා වගේයි මට දැනෙන්නේ.  මේ වන විට මා සමඟ මගේ අධීක්ශණය යටතේ තවත් ඉතාලි ජාතික ගුරුවරුන් කිහිප දෙනෙකුම Italian With Melissa Teacher හී කටයුතු කරනවා. ඉතින්  කිසිම ඉතාලි දැනුමක් නොමැතිව ඉගෙනීම් කටයුතු ආරම්භ කරන දරුවන්ට මගේ මැදිහත් වීමෙන් සිංහල භාශාවෙන් සහ ඉංග්‍රීසි භාශාවෙන්ද උදවු කරමින් ඉතාලි භාශාවේ මූලික ව්‍යාකරණ, කියවීම, ලිවීම, කතා කිරීම යන කොටස් ගොඩනගා දීම මවිසින්ම සිඳු කරනවා. මාගේ අත්දැකීම අනුව මූලික අදියරේදී දරුවන්ට තමන් දන්නා භාශාවක් අනුසාරයෙන් ඉතාලි භාශාව ඉගැන්වීමේන් ඔවුන්ට ඒවා වටහා ගැනීමට පහසු වෙනවා. ඉන් පසු ඉඳිරි මට්ටම් වලදී ඔවුන් ඉතාලි ජාතික ගුරුවරුන් යටතේ ඉගැනීම් කටයුතු සිඳු කරනවා. ඉතිං මේ වැඩ කටයුතුත් එක්ක මම ගොඩාක් කාර්යබහුල වී සිටින නිසා මම ලඟදීම පූර්ණ කාලීනව Italian With Melissa Teacher සමඟම කටයුතු කරන්නට සූදානමින් සිටිනවා.

 

ඉතාලියේ පාසල් යන දරුවෙකුට ඔබ දෙන උපදෙස කුමක්ද?

 

මම මූලික වශයෙන් කියන්නේ තමන්ගේ Passion එක follow කරන්න කියන එක. ඒ කියන්නේ  ඔබ කැමති ඔබ දක්ශ මොන අංශයටද? ඒ අංශයෙන් ඉඳිරියටම යන්න කියන එක තමයි මගේ මූලික අවවාදය.  මගේ පංති වලට සහභාගී වන දරුවන්ගේ දෙමව්පියන් මේ දේවල් ගැන නිතරම මගෙන් අහනවා. ඉතින් මම ඔවුන්ට මට පුලුවන් ආකාරයට කරුණු කාරණා පැහැඳිලි කරලා දෙනවා. ඉතාලි අධ්‍යාපණ ක්‍රමය ලංකාවට වඩා ගොඩාක් වෙනස්. දරුවෙකුට තමන් කැමති අංශයක් වයස අවුරුදු 13 න් පස්සේ Diploma di Licenza Media ඉවර වුනයින් පස්සේ  Liceo, Istituto Tecnico හෝ Istituto Professionale තොරා ගැනීමට අවස්ථාව තිබෙනවා. මෙහිදී ඕනෑම අංශයකින් තමන්ට කැමති සහ තමන්ට ගැලපෙන Scuola එකක් තොරාගෙන වැඩිදුර අධ්‍යාපණය ලබන්නට ඔවුන්ට හැකියාව ලැබෙනවා. ඉතින් මේ ඕනෑම අංශයකින් අධ්‍යපණය ලබා වැඩිදුර විශ්වවිද්‍යාල අධ්‍යාපණයට පිවිසීමට දරුවන්ට අවස්ථාව තියෙනවා. වැඩි දුර විශ්ව විද්‍යාල අධ්‍යාපණයට යොමු වීමට කැමැත්තක් නැත්නම් ඔවුන් ඉගෙනගත් අංශයෙන් රැකියාවක් පවා කිරීමට මේ දරුවන්ට අවස්ථාවව හිමි වෙනවා.

 

ඉතාලියේ අන්තර්ජාතික පාසල් වලට යන දරුවන්ට ඔබ දෙන උපදෙස කුමක්ද?

 

ගොඩාක් දෙනා අන්තර්ජාතික පාසල් අධ්‍යාපණයට යොමු වන්නේ අනාගතයේදී වැඩි දුර අධ්‍යාපණය සඳහා විදේශගත වීමට. නමුත් දැන් ඉතාලි විශ්වවිද්‍යාල වලත් ඉංග්‍රීසි භාශාවෙන් කරන උපාධි වැඩසටහන් තිබෙනවා. ඔවුන්ට ඒවාට ලියාපදිංචී වීමටත් හැකියාව තිබෙනවා. සමහර වැඩසටහන් වලට බඳවාගැනීමේ විභාග තිබෙනවා. සමහර වැඩසටහන් වලට නෑ. මේක විශ්ව විද්‍යාලයෙන් විශ්ව විද්‍යාලයට සහ උපාධි වැඩසටහනෙන් වැඩසටහනට වෙනස් වෙනවා.  දරුවන්ගේ ඉතාලි භාශා දැනුම ඉහලින් තියෙනවා නම් ඔවුන් අන්තර්ජාතික පාසලක ඉගෙන ගනු ලැබුවත් ඔවුන්ට වැඩිදුර අධ්‍යාපණය ඉතාලි භාශාවෙන් හදාරන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඔබගේ දරුවා අන්තර්ජාතික පාසල් අධ්‍යාපණය ලබනවා නම් මගේ උපදෙස හොඳින් ඉතාලි භාශාව අනිත් විශයන්ට සමගාමීව ඉගෙන ගන්න කියන එක.

 

ඔබ ඉතාලි භාශා පංතියක් ආරම්භ කිරීමට තීරණය කලේ.

 

ඇත්තටම මෙවර මෙය වෘත්තීය මට්ටමෙන්ම ආරම්භ කලාට මේ අදහස මට ආවේ මම විශ්වවිද්‍යාල අධ්‍යාපණයත් ආරම්භ කිරීමට පෙර සිටමයි. මොකද මම විශ්ව විද්‍යාල ජීවිතය පටන් ගැනීමට පෙර සිටම පංති පවත්වමින් සහ ඉතාලි ඉස්කෝලේ යන සිංහල දරුවන්ට ඉතාලි භාශා පංති පවත්වමින් සිටියා. ඉතින් මෙහිදී මම අඳුරගත්තා ලංකාවේ දරුවන් ඉතාලි අධ්‍යාපණ කටයුතු සඳහා අතරමඟින් සම්බන්ධ වීමෙන් ඔවුන්ට භශාවේ ස

මහරක් වැදගත් කොටස් පාසලේදී මඟහැරීමේන් භාශාව අල්ලාගැනීමේදී යම් යම් ගැටළු මතු වී තිබෙන බව. ඇතටටම මේ වගේ දරුවෝ තමයි ගොඩාක්ම මගේ පංති වලට සහභාගී වෙන්නේ. ඉතින් මේක ගොඩාක් දරුවන්ට තිබුණු ප්‍රායෝගික ප්‍රශ්ණයක් නිසා තමයි මගේ ඉතාලි භාශා පංතිය මූලික වශයෙන් ඉතාලි පාසල් යන දරුවන් වෙනුවෙන් ආරම්භ වෙන්නේ. සෙනසුරාදා සහ ඉරිඳා දවස් දෙකේ ඔවුන් වෙනුවෙන් කණ්ඩායම් පංති පැවැත්වෙනවා. ඊට අමතරව භාශාව පුහුණු කිරීම වෙනුවෙන් භාශාව කතා කිරීමේ පුහුණු සැසියක්ද  සතියේ දින වල සවස ඔවුන් වෙනුවෙන් පැවැත්වෙනවා. විශේෂයෙන්ම එම පුහුණු සැසියේදී භාශාව කතා කිරීම දරුවන්ට හුරු කරවනවා. ගොඩාක් කතා කිරීමට බියෙන් සිටි දරුවන් මෙහිදී කතා කිරීමට පටන් ගන්නවා.


ඔබේ Italian Class සම්බන්ධයෙන් තව විශේෂ යමක් කියවන අපේ පාඨකයින්ට කියන්න තියෙනවාද?

 

විශේෂයෙන්ම කියන්න තියෙන්නේ අපි ආරම්භ කල Italian speaking sessions ගැන. සැබැවින්ම මම එවැන්නක් ආරම්භ කිරීමට තීරණය කලේ ඉතාලියට පැමිණි ශ්‍රී ලාංකීක දරුවන් අතර මා නිතර අත්දැකපු අඩුපාඩුවක් නිසා. ඕනෑම භාශාවක් ප්‍රගුණ කිරීමට නිතර එම භාශාව කතා කිරීම හරිම වැදගත්. ඉතිං ලංකාවේ පාසල් යමින් සිට ඉතාලියට පැමිණ, අතර මඟින් ඉතාලි පාසල් යාමට සම්බන්ධ වී  සිටින දරුවන්ටත් එය හරිම වැදගත්. දරුවන් ඉතාලියේ පාසල් යාම ආරම්භ කල විට ඔවුන් ක්‍රමයෙන් භාශාව ඉගෙන ගෙන කතා කිරීමට හුරු වෙනවා. නමුත් මොවුන්ට ඉතාලි භාශාවෙන් කතා කිරීමට බොහෝ විට හැකි වන්නේ පාසලේදී පමණයි. පාසලේදී පමණක් ඉතාලි භාශාව කතා කිරීම සමහර දරුවන්ට ප්‍රමාණවත් උනත් තවත් සමහර දරුවන්ට එය ප්‍රමාණවත් මඳි. ඉතින් එවැනි අවස්ථා වල මා දැක තිබෙනවා එම දරුවන්ගේ පාසල් ගුරුවරු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා දරුවන් සමඟ ගෙදරදීත් ඉතාලි භාශාවෙන් කතා කරන ලෙසට. එහෙම වෙන්නේ සෑම දරුවෙක්ම හරිම වෙනස්. වෙනස් වෙනස් දේවල් වලට තමයි ඔවුන් දක්ශ.

 

මට නිතරම දෙමවපියන්ගෙන් අසනන ලැබෙන දෙයක් තමයි තාම අපේ බබා වැඩියේ ඉතාලි භාශාව කතා කරන්නේ නෑ. එයා ලැජ්ජයි වගේ දේවල්. ඉතින් දරුවන් ඉතාලි භාශවේන් කතා කිරීමට ඔබ බලාපොරොත්තු වනවාට වඩා වැඩි කාලයක් ගත වන්නට ප්‍රධානම හේතුවක් ඔවුන්ට භාශාව කතා කිරීමට අවස්ථාව පාසලේදී පමණක් හිමි වීම. ඉතින් ඔවුන්ට ඉතාලි භාශාව කතා කිරීමට පාසල් කාලයට අමතරව තවත් අවස්ථාවක් ලබා දීම සහ එම අවස්ථාව තුලදී ඔවුන් සිඳු කරන භාශාමය වැරඳි පෙන්වා දී ඒවා නිවැරඳි කිරීම උදේසායි අපි මේ නව පංතිය ආරම්භ කිරීමට තීරණය කලේ.

 

සාමාන්‍ය ක්‍රමයෙන් ඔබ්බට ගිහිල්ලා දරුවන්ගේ ඉගෙනීම් කටයුතු පහසු කිරීමට සහ ඔවුන්ට ඉගෙනීමට ඇති උනන්දුව වැඩි කිරීමට Mobile App එකකුත් හදලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුනා. ඒ ගැනත් පොඩ්ඩක් කියමු.


ඔව් මේ Mobile App එක මගේ පංති වලට සහභාගී වන සියලුම සිසුන් සඳහා තමයි හඳලා තියෙන්නේ. දැනට ඔවුන්ට අතපසු වූ පාඩම් App එක හරහා බැලීමට අවස්ථාව ඇතුලුව තවත් ක්‍රියාකාරකම් කිහිපයක්ම ලබා දී තිබෙනවා. App එක සම්බන්ද තවත් බොහෝ ක්‍රියාකාරකම් ඉඳිරි කාලයේදී පැමිණීමට නියමිතයි. ඉතිං Melissa Teacher App එක ඔබත් download කරලා තියාගන්න. Playstore එකෙයි App Store එකෙයි දෙකේම App එක තියෙනවා.


ඉතින් අවසන් වශයෙන් මෙය කියවන ඉතාලියේ වෙසෙන දරුවන්ගේ දෙමාපියටන්ට ඔබට දෙන්නට තිබෙන පණිවිඩය කුමක්ද?


මට කියන්න තියෙන්නේ දරුවන්ට ආත්ම විශ්වාසය ලබා දෙන්න. “පුලුවන්” කියන ධනාත්මක හැඟීම ඔවුන් තුල කුඩා කල සිටම ඇති කරන්න. දරුවන්ට ඇහුම්කන් දෙන්න. එවිට ඕනෑම දෙයක් කිරීමට ඔවුන්ට හැකි වනු ඇත. අධ්‍යාපණය පැත්තෙන් යමක් කිව්වොත්, ඔබ ඉතාලියේ ජීවත් වීමට අදහස් කලත් නොකලත් ඔවුන්ට ඉතාලි භාශාව හොඳින් උගන්වන්න. මොකද කිව්වොත් අපි අනාගතය කෙතරම් සැලසුම් කලත් “Plan B” එකක් ජීවිතයේ තිබීම වැදගත්. උදාහරණයක් ලෙස අනාගතයේදී අන්තර්ජාතික පාසල් වලට යන දරුවන්ව විදේශ අධ්‍යාපනයට යොමු කිරීමට ඔබ සැලසුම් කලත් ඔවුන් ඉතාලියේ සිටීමට කැමති වුවහෝත් හෝ යම් කිසි හෙයකින් සිතූ කාරයටම සැලසුම් ක්‍රියාත්මක නොවුනොත්, ඔවුන්ගේ ජීවිතය ඉතාලියේදි හෝ ඔවුන්ට ජයගැනීමට හැකි වනු ඇත. ඉතාලි පාසල් වල ඉගෙන ගන්නා දරුවන්ට  Diploma di Maturità  සඳහා ඔවුන්ට දක්ශතාවය ඇති, කැමැත්ත ඇති, විශය ධාරාවක් තෝරා ගැනීමට ඔවුන්ට මඟ පෙන්වන්න. Doctor කෙනෙක් Engineer කෙනෙක් Lawyer කෙනෙක් වෙන්න කියලා බල කරන්න එපා. ඔවුන්ගේ Talento එලියට ගන්න ඔවුන්ට උපකාර කරන්න.  සෑම රැකියාවක්ම සමාජමය වශයෙන් වැදගත් බැවින් හැකියාව, දක්ශතාවය, කැමැත්ත ඇති විෂය ධාරාවක් තෝරා ගැනීමට ඔවුන්ට සහය වන්න. ඔවුන් කැමති දේ තෝරා ගැනීම තුලින් ඔවුන්ට රැකියාවේ සාර්ථක වීම වගේම ආසාවෙන් කරන නිසා, එය රසවිඳීමටත් ඔවුන්ට හැකි වේවි.

Melissa Teacher ව සම්බන්ද කරගැනීමට අවශ්‍ය නම්, Italian With Melissa Teacher Facebook පිටුවට හෝ ඇයගේ වෙබ් අඩවියට (https://www.melissateacher.it/) පිවිසෙන්න.

සාකච්චාව සිඳු කලේ: Sandra P. Ambuldeniya. (sri-lankans.com)

මෙවැනි ඉතාලියේ ජීවත්වන ලෝකය ජයගත් විශේෂ චරිත ගැන අපට දන්වන්න info@sri-lankans.com ලිපිනය භාවිතා කරන්න.