ශ්‍රිලාංකික සම්භවයෙන් පෝෂිත ඉතාලියේ පළමු නීතිඥවරයා Avv. යොහාන් සපරමාදු මෙවර පාදුවා නගර සභාවට

The Italian lawyer of Sri Lankan origin is a candidate for the municipal council election in Padova. This lawyer is the first lawyer with Sri Lankan Origin in Italy.

ශ්‍රිලාංකික සම්භවයෙන් පෝෂිත ඉතාලියේ පළමු  නීතිඥවරයා Avv. යොහාන් සපරමාදු  මෙවර පාදුවා නගර සභාවට
ශ්‍රිලාංකික සම්භවයෙන් පෝෂිත ඉතාලියේ පළමු  නීතිඥවරයා Avv. යොහාන් සපරමාදු  මෙවර පාදුවා නගර සභාවට

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ  දෙවැනි පරපුරේ ශ්‍රී ලාංකික දූ පුතුන් ඉතාලියේ ඉපදී, හැදී වැඩි අධ්‍යාපනය ලබා ඉතාලි  සමාජයේ පිළිගත් රැකියා වල නිරතවනු දැන් දැන් දක්නට ලැබේ. ඒ අතුරින් නීතිඥවරයෙකු වීමේ අධිෂ්ඨානයෙන් ඉතාලියේ සහ එංගලන්තයේ අධ්‍යාපනය හදාරා ස්වඋත්සාහයෙන් නීතිඥයෙකු බවට පත් වී 2019 වසරේ ඉතාලියේ ලියාපදිංචි නීතිඥවරයෙකු වශයෙන් යොහාන් සපරමාදු දිවුරුම් දෙන ලදී. ඒ ඉතාලියේ ලියාපදිංචි පළමු ශ්‍රී ලංකික සම්බවය සහිත නීතිඥවරයා ලෙස ශ්‍රී ලංකාවට මහත් කිර්තියක්ද අත්කර දෙමිනි. ඉතින් මේ අපි නීතිඥ (avvocato) යොහාන් සපරමාදු සමග ඔහු ඉතාමත් කාර්යබහුලව ඉතාලියේ  පාදුවා නගරයේ නගරසභා මැතිවරණ කටයුතු වලට  සුදානම් වන අතරවාරයේදී  සිදුකල කෙටි  සංවාදයේ සංශිප්තයයි.


1)  යොහාන්ගෙ පවුලේ විස්තර ටිකක් අපි දැනගන්න කැමතියි.

මගේ දෙමව්පියන් ඉතාලියට ආවේ 70 දශකයේ. මුලින්ම ඔවුන් පදිංචි උනේ රෝමයේ. පසුව පිළිවලින් මිලානෝ නගරයේ, බස්සානෝ දෙල් ග්‍රප්පා ප්‍රදේශයේ සහ වර්තමානයේ පදිංචිය පාදුවා නගරයේ. පාදුවා නගරයේ තමයි  මම උපත ලබන්නේ. ඉතින් එදා ඉඳලා අද වෙනකන්ම අපේ පදිංචිය පාදුවා වල.
මගේ දෙමව්පියන් දැනට ඔවුන් සතු වියාපාරයක දිර්ග කාලයක් නියැලී සිටිනවා . පාදුවා හී සාන්ත අන්තෝනි දේවස්තානයට නොදුරින් , අසියානු අත්කම් භාන්ඩ හා බතික් බිත්ති සැරසිලි ආදි  දැ හා  (ethnic costume) රෙදි පිලි වෙලඳ සැලක් පවත්වාගෙන යනවා. මගේ වැඩිමහල් සොහොයුරාද එවැනිම වෙලඳ සැලක්  දේවස්තානය ඉදිරිපසින්ම පවත්වාගෙන යනවා.

2) යොහාන් ලංකාවේ කොහෙද?

මම ඉපදුනේ 22.08.1988 දින පාදුවා නගරයේමයි.  එදා සිට අද දක්වාම මම ජිවත් වුනේ පාදුවා නගරයේ. ඉතාලියේ සෑම ප්‍රදේශයකම සේවදායින්ට මගේ සේවය ලබාදුන්නත් මගේ නීතිඥ කාර්යාලය පිහිටා තිබෙන්නේත් පාදුවා නගරයේම තමයි.
මගේ පියා ගල්කිස්ස ප්‍රදේශයෙන්. මව බොරලැස්ගමුව ප්‍රදේශයෙන්. විවාහයෙන්  පසුව ඔවුන් ලංකාවේ පදිංචියට තෝරාගත්තේ මොරටුව ප්‍රදේශය. මම මාගේ ලංකාවේ නිවස ලෙස සලකන්නේ සෑම වසරකම මම ලංකාවට ගිය විට නැවතී සිටින මොරටුවේ නිවස.

3) ඇයි ඔබ නීතිඥ වෘත්තීය තෝරා ගැනීමට තීරණය කලේ?

කුඩා අවදියේ ඉදලාම මම අවනීතියට එරෙහි වෙච්ච කෙනෙක් නිසා මට කුඩා කාලයේදීම නීතිඥයෙකු වීමේ ආසාව තිබුණා. මම  විදේශිකයෙකුගේ දරුවෙක් වූ නිසාම මට දකින්නට ලැබුණා අපේ ශ්‍රී ලංකික මිනිස්සු තමන්ගේ ලියකියවිලි කටයුතු සහ සෑම දේම  සමගින් ඉතාලියේ තම ජීවිතය ගොඩනගා ගැනීමට දරණ අරගලය. සංක්‍රමණික විදේශීය ජනතාව ඉතාලි භාශාව සහා ඉතාලියේ වැඩකටයුතු ක්‍රමවේදයන්  පිලිබදව නිසි අවබෝධය නොමැති කම  නිසා අනේකවිද දුෂ්කරතා වලට මුහුණ දෙන ආකාරය මම කුඩා කල සිටම දුටුවා. විශේෂයෙන්ම තමන්ගේ ඉතාලියේ විසීමේ බලපත්‍රය අලුත් කරගැනීමේදී , ඉතාලි පුරවැසිභාවය ලබාගැනීමේදී වගේම තමන් ඉතාලියේ වැඩ කරන හාම්පුතුන් සමග ඇති වන ගැටළු වලදී තමන්ට ඇති අයිතිවාසිකම් පිලිබදව නිසි අවබෝධය නොමැති  වීම නිසා සංක්‍රමණික ජනතාව බරපතල ගැටළු වලට මුහුණ දෙන ආකාරය මම දැක්කා. ඉතින් මට කුඩා කල සිටම ලොකු ආශාවක් ආවා නීතිඥයෙකු වෙලා මේ වගේ මිනිස්සුන්ට උදව් කරන්න.

4) ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික දරුවෙක් අනාගතයේදී නීතිඥ වෘත්තීය තෝරා ගැනීමට අදහස් කරයි නම් තෝරාගත යුතු නිසි විශය ධාරවන් මොනවද?

ප්‍රථමයෙන්ම ඔහු හෝ ඇය AL සුදුසුකමට සමාන ඉතාලියේ “Diploma di maturità” සහතිකය ලබාගත යුතු වෙනවා. මෙය අවුරුදු 5 ක කාලයක් High School  යාමෙන් ලබාගත හැකියි. මම ගියෙ “liceo scientifico” පාසලකට. නමුත් “liceo classico” පාසලකට යාමෙන්ද මෙම සුදුසුකම ලබා ගැනීමට හැකියි. මෙම සුදුසුකම ලබා ගැනීමත් සමගම ඔහුට හෝ ඇයට විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට සුදුසුකම්  ලැබෙනවා. ඉන්පසුව ඔහු හෝ ඇය විශ්ව විද්‍යාලයක නීති පීඨයට ඇතුලත් විය යුතු වෙනවා. මෙලෙස ඇතුලත් වීමේදී ඇතුලත් වීමේ විභාගයකට පෙනී නොසිට ඕනෑම කෙනෙකුට තම අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට හැකි වෙනවා. මෙලෙස නීති පීඨයට ඇතුලත් වන සිසුවෙකු හෝ සිසුවියෙකු අවුරුදු 5ක කාලයක් අධ්‍යාපනයේ නිරත විය යුතු වෙනවා.  එම කාලය තුලදී ඔහු  හෝ හෝ ඇය විභාග 33කට මුහුණ දී ලකුණු 300ක ප්‍රමාණයක් හිමි කර ගැනීමෙන් උපාධියේ  විභාගය සදහා පෙනී සිටීමට සුදුසුකම් ලබාගත යුතු වෙනවා. 

උපාධිය හිමි කරගැනිමෙන් පසුව සෑම නීති සිසුවෙකුම  ඉතාලියේ පිළිගත් නීති ආයතනයක මාස 18ක සේවා පුහුණු කාලයක් සම්පුර්ණ කල යුතුයි. මෙම සේවා කාලය අවසානයේ රාජ්‍ය නීති විභාගයට පෙනී සිට සමත් වීමෙන් පසු ඔහුට හෝ ඇයට ඉතාලියේ නීතිඥයෙකු (avvocato)  ලෙස සේවය කිරීමට හැකි වනවා.

5) අනාගතයේ ඉතාලියේ නීතිඥ වරයෙකු බවට පත්වීමට අදහස් කරන දරුවෙකුට ඔබ ලබා දෙන අවවාදය කුමක්ද?

ප්‍රථමයෙන්ම නිතිය හැදෑරීම යනු පවතින සෑම නීතියක්ම මතක තබා ගැනීම නොවන බව වටහාගන්න. නිතිය යනු යම් කිසි කාරණාවක් වෙනුවෙන් තර්කනුකුලව සිතමින්  හේතු දැක්වීමක් ලෙස පැහැදිලි කලොත් එය නිවැරදියි. නිතිය හැදෑරීම පහසු දෙයක් නොවේ. විභාග ජය ගැනීමට පිටු ගණන් අධ්‍යයනය කිරීමට සිදු වෙනවා. එම නිසා අධ්‍යයනය කිරීමට ක්‍රමානුකුල ක්‍රමවේදයක් සහ තම අධ්‍යාපන කටයුතු නිසි ලෙස කළමනාකරණය කරගැනීමට ඔබට හැකි නම් එය ඔබට ඉතාලියේ නීතිඥයෙකු වීමට හොද සුදුසුකමක් වනු ඇත. 

6) නීතිඥයෙකු ලෙස ඔබගේ specializations මොනවද?

මම සංක්‍රමණික නිතිය (permessi di soggiorni, ricongiungimenti familiari, Italian citizenship) බැංකු නිතිය, එනම් ණය සහ blacklists වීම සම්බන්ධ ගැටළු, රක්ෂණ නීති (හදිසි අනතුරු සම්බන්ධ නීති  කටයුතු), සිවිල් නිතිය (මුදල් නැවත ලබා ගැනීම්, රැකියා ස්ථාන වල නඩුහබ) සම්බන්ධයෙන් විශේෂයෙන් කටයුතු කරනු ලබන නීතිඥයෙක්.

7) ඔබ පාදුවා නගරයේ නගරසභා ජන්දයට ඉදිරිපත් වීමට තීරණය කල හේතුව කුමක්ද?

පාදුවා නගරයේ ජනග්‍රහණය 209420 ක් . ඒ අතුරින් 34000 ක්ම සංක්‍රමණික විදේශීය ජනතාව. ඒ කියන්නේ මුළු ජනග්‍රහණයෙන්  16.4% ක්ම  විදේශික වටපිටාවක් ඇති අය. මේ මිනිස්සු පාදුවා නගරයේ ජීවත් වෙනවා. බදු ගෙවනවා. නගරයේ සංවර්ධනයට දායක වෙනවා. නමුත් ඔවුන්ව නගරසභාව තුල  දේශපාලනික වශයෙන් නියෝජනය කිරීමට කෙනෙක් නැහැ. ඉතින් මම හිතුවා දැන් ඒකට හරි කාලය ඇවිල්ලා කියලා. අපි අද ජිවත් වන්නේ බහු සංස්කෘතික ජන සමාජයක.  නමුත් තවමත් නගරසභාව ඒකසංස්කෘතිකයි. මම මේ 16.4% ක් වූ ජනතාව නියෝජනය කරන හඩ විය යුතු යැයි මා සිතුවා.

8) ඔබ නගරසභා ජන්දයෙන් තේරී පත් වුවොත් සමාජයට සිදුකිරීමට බලාපොරොත්තු වන මෙහෙවර කුමක්ද?

පාදුවා නගරයේ ආගමන විගමන කාර්යාල තුල ඉතාලි හෝ  ඉංග්‍රීසි භාෂාව නොදත් කෙනෙකුට තම කටයුතු සිදුකර ගැනීමේදී මුහුණදීමට වන අපහසුතා, “certificato idoneità alloggio” ලබා ගැනීමේදී මුහුණපෑමට සිදුවන අපහසුතා. නිවාස කුලියට ලබා ගැනීමේදී මුහුණ පෑමට සිදුවන ප්‍රායෝගික ගැටළු වලට විසදුම් සෙවීමට විශේෂ වශයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. 

9) විශේශයෙන් ඔබ  ශ්‍රී ලංකික ජනතාවට සිදු කිරීමට බලාපොරොත්තු වන සේවය කුමක්ද?

මම විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ඉතාලියේ වෙසෙන  ශ්‍රී ලංකික ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ඔවුන්ගේ පාසල් ගෙදර වැඩ සම්බන්ධයෙන් සහයෝගය දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට. මම දන්නවා කොච්චර අමාරුද සහ  දෙමව්පියන් කොච්චර අසරණ වෙනවද කියලා ඉතාලි පාසලේ ඉගෙනුම ලබන දරුවෙකුගේ ගෙදර වැඩ වලට උදවු කරන්න සිදු වුනාම විශේෂයෙන්ම ඉතාලි භාෂා ප්‍රශ්නය නිසා.

10) ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්  එදිනෙදා ජිවිතයේ දී සිදුකරනු ලබන පොදු වැරදි මොනවාද? මේවා සම්බන්ධයෙන් ඔබගේ පොදු අවවාදය කුමක්ද?

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලංකික බහුතර ජනතාව සිදු කරන ප්‍රධානම වැරැද්ද විදිහට මම දකින්නේ ඔවුන් වැඩකටයුතු සිදුකරන්නේ ඔවුන් සදහටම ඉතාලියේ ජිවත් වෙන්නේ නැහැ කියන මතයේ ඉදගෙන. කවදාහරි තමන්ගේ මව් රටට නැවත යනවා කියන මතයේ ඉදගෙන. මෙලෙස සිතීම අපේ ශ්‍රී ලංකික ජනතාව ඉතාලි ජන සමාජයට මුහුවිමට බාධාවක් කියලයි මම දකින්නේ. සමහර විට ඔවුන් දිනෙක සදහටම ඉතාලියෙන් සමුගෙන යාවි. නමුත් ඔහු හෝ ඇය ඒ වනතුරු ඉතාලියේ ජිවත් වෙන්නේ. 

ඉතාලියේ වෙසෙන අපේ ශ්‍රී ලංකික ජනතාව ඉතාලි සිවිල් සමාජය තුල තමන්ගේ නිසි තැන ලබා ගැනීම හරිම වැදගත් දෙයක්. ඉතින් එකට වැදගත්ම දේ තමයි දැන් තමන් ජිවත් වන රටේ භාෂාව, එනම් ඉතාලි භාෂාව නිවැරදිව ඉගෙන ගැනීම. ඉතාලි භාෂාව නොදැන, ඉතාලි ජාතිකයින් සමග නිවැරදිව සංනිවේදනය කිරීමට නොහැකිව ඉතාලි සිවිල් සමාජය තුල රැදී සිටීමට ඉතාමත්ම අපහසුයි. තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමටත් අපහසුයි. ඉතින් මම දකින්නේ මෙය විශාල වැරද්දක් විදිහට.  ඉතින් ප්‍රථමයෙන්ම හොදින් ඉතාලි භාෂාව ඉගෙන ගැනීමට මුල් තැනක් දෙන්න.

පාදුවා නගරසභා මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් ඔබට අසා දැන ගත යුතු යමක් ඇතොත් නීතිඥ යොහාන් සපරමාදු සෘජුවම සම්බන්ධ කරගන්න. ඔහුගේ දුරකථන අංකය : +39 340 907 9455 (ඉතාලි, ඉංග්‍රීසි සහ සිංහල බසින් ඇමතිය හැක)

ඔහුගේ FACEBOOK පිටුව හා සම්න්ධ වන්න  : https://www.facebook.com/yohankddsaparamadu

ඉතාලියේ  වෙසෙන ශ්‍රී ලංකික සැමට නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකික සම්බවය සහිත වෘත්තීයවේදීන් ගෙන් සේවය ලබා ගැනීමට හැකි වනු ඇත.  ඒ සදහා ඔබගේ දරුවාත් දිරිමත් කරන්න.